බුදු හාමුදුරුවෝ කෙලින්ම ප්‍රතික්ෂේප කරපු තුනක් තියෙනවා. හැබැයි බොහෝ අය කර පින්නාගෙන ඉන්නෙම ඔය තුන තමයි. මෙතන තියෙන මූලික දේ බුදුන් වහන්සේ කවදාවත් ඔය තුන වැරදියි කියලා, ඒවගේ වැරදි මේකයි කිය කියා ඇවිද්දේ නම් නෑ. ඒ වෙනුවට නිවැරදි දේ මේකයි කියලා පැහැදිලි කරා.
මොනවද දන්නවද ඒ තුන?
එක: පුබ්බ කත වාදය
පෙර කරපු කරුම අනුව තමයි මේ සේරම වෙන්නෙ. ඒ කියන්නේ අපට කොරන්ඩ දෙයක් ඇත්තේම නෑ, කෙරිච්චා අනුව තමයි වැඩ වෙන්නේ. මේකෙන් කියවෙන්නේ පෙර කරුම අනුව තමයි අපේ ජීවිතය තීරණය වන්නේ, ඒ නිසා කෙරෙන හැටියට කෙරෙන්නේ ඉඩදීලා ඔහේ බලාගෙන ඉන්නවා කියන එක.
ඒක ප්‍රතික්ෂේප කරලා ඒ සදහා බුදුන් වහන්සේ කර්මය කියන්නේ මොකක්ද කියන එක විග්රහ කරා. කර්මය කියන්නේ චේතනාවක් සංස්කරණය කරලා සිත කය වදන කියන තුන් ආකාරයකින් ක්‍රියාවක් සම්පූර්ණ කරන එකට. ඒක විවිධ පරාසයන් ඔස්සේ විග්රහ කලා. පංච උපාදානස්කන්ධ ක්‍රියාත්මක වන හැටි, කොටින්ම පංච ඉන්ද්‍රියයන්ට ගෝචර වන බාහිර අරමුණු පදනම් කරගෙන, මනෝ සංචේතනා සංස්කරණය කරමින් භවගාමී සත්වයින් පැවැත්ම උපාදානය කරගෙන කර්ම ජාලයක් හදන හැටි. මේ මොහොතේ හදන කර්ම ඒ හදන මොහොතේම තමයි ප්‍රථිපල දෙන්නෙ. ඒ ඵලය නිකංම වෙනස් වෙන්නෙ නෑ, අපි සංස්කරණය කරන විදිහ වෙනස් කර ගත යුතු විදිහ පැහැදිලිව පෙන්නලා දුන්නා.
ඒක චේතනාවක් ඊළඟ සිතුවිල්ල හදන්න මුහුන් සපයන හැටි. ඒවා විභංග කරල දකින හැටි කියලා දුන්නා. භෞතිකව ඇහැ හෝ රූප දකින ශක්තිය ලැබුනට වැඩක් නෑ දකින දේවල් ප්‍රඥාව යොදලා බැලුවෙ නැත්නම්. එතනයි රහස තියෙන්නේ.
ඒ වගේම ජීවිතයක පැවැත්මට කර්ම වගේම අනෙක් නියාම ධර්ම වන බීජ, චිත්ත, ධම්ම සහ සෘතු යන දේවල් වල බලපෑමට හසුවන සත්ව ජීවිත විවිධාකාර දිය සුළි වලට හසුව ගලාගෙන යන හැටි සහ ඒවා වෙනස් කරමින් පටිසෝතගාමී මාර්ගයට පිවිසෙන හැටි විස්තර කළා. එතනදි තමන්ට ඔය පෙර කරපු ඒවාගෙ බලපෑමට එරෙහිව සටන් කරන්න ශක්තියක් තියෙන බවත්, ඒ ශක්තියෙන් විපුල ඵල නෙළා ගන්න ඒවාට එරෙහිව සටන් කරන්න පුළුවන් කියන එක එවැනි අයගේ ජීවිත වෙනස් කිරීම තුළින් ම පෙන්නලා දුන්නා.
ඒත් අද ? කරුමය ට්‍රේඩ් මාර්ක් එක වෙලා.
දෙක: ඉස්සර නිම්මාන වාදය
මෙවිවා සේරම කොරවන මහා බලවේගයක් ඉන්නවා. ඌ තමයි කෙරුමා. අපි ඉතින් ඌ කරන එක දිහා බලාන ඉන්නවා. මේ තමයි දේව වාදය. මැවුම්කරු වෙන් ඉන්නවා, මම බඹා හරි ගෝඩ් දෙයියො හරි එයා තමයි මැව්වේ. එයා තමයි තෝරලා බේරලා එක එක සත්වයාට අයිති, සබ්බ සකල මනාවම තීරණය කලේ කියන අදහස.මේ අදහස තමයි කුළ ගෝත්‍ර, ජාති වාදය, ස්ත්‍රී පුරුෂ භේද ආදී නොයෙක් තාරාතිරම් දෙයියෝ දීලා කියලා මුලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝනය කලේ.
බුදුන් වහන්සේ මේවායේ බොරුව ඔප්පු කළේ තමන් වහන්සේ ගේ ජීවිතය තුළින්. තර්ක කරන්න ගියෙ නෑ ඒවා වැරදියි කියලා. ඒ අය එක්ක යුද්ධ කලෙත් නෑ. හැබැයි ඉතාම සාරඝර්භ සංවාද මගින් මේවායේ නිස්සාරත්වය ඔප්පු කලා. උන් වහන්සේ ගේ සාශනය කුළ මල ගෝත්‍ර ප්‍රතික්ෂේප කරල හැමෝටම විවෘත කළා. මහාබ්‍රහ්මයා ගේ මැවීම බොරුවක් බව ඔප්පු කළේ අග්ගන්න සූත්‍රය මගින් ලෝකය සහ ජීව පැවැත්ම නියායාත්මකව විග්රහ කරලා. අන්ධකාරය නැමති ලෝක විනාශය කළු කුහරය තුලට කඩා හැළුනද විනාශ නොවන ඇලීම් ශක්තිය නැවත වරක් ලෝකය නිර්මාණය කරනවා මිස ලෝක හදන ගල් වඩුවෙක් නොමැති බව විග්රහ කළා.
අද: දෙයියො බුදුන් වෙලා.
තුන: අහේතුක වාදය
හේතුවක් ඇතුව නොවෙයි මේවා කෙරෙන්නේ මේවා දෛවයට අනුව වෙන දේවල්. මේවා ඔහේ දෛවෝපගතව කෙරෙන දේවල් නිසා ඒවට යට වෙලා ඉතින් ඉන්නවා උඩ බලාගෙන. සුවීප් ගන්නවා. හඳහන බලනවා, ආදී දේවල් කර කර ඉන්නවා.
හේතු පල දහම තමයි උන්වහන්සේ ඉදිරිපත් කලේ. අහේතුකව නොවෙයි මේ හැම දෙයක්ම සිද්ධ වන්නේ තණ්හාව නැමැති ගෘහ නිර්මාණ ශිල්පියා තමයි මේ ජීවිත ගෘහය නිර්මාණය කරන්නේ අවිද්‍යාව කියන මෘදුකාංගය පාවිච්චි කරමින්. ඒක තවදුරටත් විග්රහ කරන්න පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ඉදිරිපත් කළා.
කර්මය කියන කෙතේ විඤ්ඤාණ බීජය තණ්හාව නැමැති ජල සීරාවෙන් පෝෂණය වෙවී බව ගාමී සත්ව ජීවිතය සරුවට වැවෙනවා. ඉතින් ඕක අපි වවනවා කිය කියා සක්කාය හෙවත් මමත්වය කියන හිරු කිරණ උපාදානය කරමින් ඒ පැලය නොනවත්වා වැඩෙනවා. මේකට තමයි භව ගිනි දාහය කියන්නේ. ඉතින් ඒ ගින්න නිවන්න නම් ඵලය නොවෙයි හේතුව හොයලා හේතුව මුලිනුපුටා දාන්න ඕනෑ කියන එක පහදලා දුන්නා. දෛවය නැමැති මහා බොරුවට එරෙහිව අපට කරන්න දෙයක් තියෙනවා, එනම් මේ බොරුව තේරුම් අරගෙන හේතුව නැති කරිමට වීරිය යෙදිය යුතු බවයි.
ඒත් අද: අර තුනම කර පින්නාගෙන ඉන්න කොට අපට කරන්න දෙයක් ඇත්තෙම නෑ. ඒක කරවන්න තමයි මුළු ලෝකයේම ධනවාදී පාලකයෝ වලි කන්නේ.